Saturday, April 27, 2013

ජීවිත කතාව 12


ජීවිත කතාව 11 මෙතනින් යන්න 


ආයුබෝවන් කිව්වා........

ඔබ සැමට කුක්කු පිරි කිරි බෝතල් සපිරි පැම්පස් නැති සුභ අලුත් අවුරුද්දක් වේවා................





උඹලට කියන්න මේ ඩුබායි රටේ මම තරම් බිසී එකෙක් තවත් නැතුව ඇති ......(එහෙමයි අපේ බබී නම් කියන්නේ ).
ඇයි බන් සමාජ සේවෙට බැස්සම රැයක්  දවාලක් නෑනෙ .............

ඒකෙන් මේකෙන් මේ පැත්තට එන්න තියෙන වෙලාව අඩු වුනු එක විතරයි වුනේ.

උඹල නම් අවුරුද්දට ගිලල ගිලල ඇති ඉතින් මොකාද කාපු මොකාද වගේ.අපිට කොයින්ද බන් ඒ වගේ පිනක් ........පාන්දර නැගිටලා බබී හදල දුන්න කිරි බත් එකත් අරගෙන පිටත් වුනා මම විවේකයෙන් ගත කරන මගේ කන්තෝරුවට.

වෙනද වගේම උදේ පාන්දර ඉන්දියන් කාරයෙකුට පොඩි ගින්නක් දීල වැඩ ඇල්ලුවා.අත්  දිගට ඇඳලා ක්ලීන් සුට් දාල ආවට මොලේ කළඳක් නෑ.
මට ඉතින් නිදිමත වුනාම උන්ට පොඩි ගින්නක් දෙනවා. උන් පස්ස ගිනි අරන් දුවන හැටි දැක්කම පැලෙන්න හිනා බන් . 
පවු තමයි.එත් තමිල්නාඩු සීන් එකෙන් පස්සේ මට උන්ව පේන්න බෑ .

කොච්චර නෝන්ඩි වුනත් උන්ට ලැජ්ජාවකුත් නෑ ............උන් හිතන් ඉන්නේ මුළු ලෝකෙන්ම උන් තරම් පොරවල් නෑ කියලා .

හරි ඔන්න එහෙනම් ආයෙත් කතාවට .
*********************************************************************************

ඔය කියන කාලේ අපේ පවුලට තිබිච්ච අපලම කාලේ . ඒ  දවස්  අපිට හොදටම අමාරු කාලේ .තාත්තා ගේ හදන්න ගත්ත ණය පොළී  වැල් පොළී  වෙලා අපිව නන්නත්තාර වෙච්ච කාලයක් .තාත්තා රට ඉඳන් එවන සල්ලියි අම්ම කඩේ කරලා ඉතුරු කරන සල්ලියි වලින් අපිව ඉස්කෝලේ යවල  පුළුවන්  විදියට ණයත් බේරනවා.
මේ ඇවිල්ල මම 6 වසරේ ඉදන් 8  වසර වෙනකන් ......

මට මතකයි මගේ පළවෙනි මල්ලිට එතකොට වයස අවුරුදු 9,බාල මල්ලිට අවුරුදු 07.අක්කට 13 යි.
අම්ම අපිට රෑට කවන්නේ ඉස්සරහ  උළුවස්ස ලඟ අපි හතර දෙනාව වාඩි  කරගෙන ...අපි හුඟක් දවස් වලට කෑවේ සුදු හාලේ බතයි ..පොලුයි ...ලුණුයි .

උඹලට පුදුම ඇති නේද පොලුයි ලුණුයි එක්ක බත් කන්නේ කොහොමද කියල ..........

අම්මගේ ආදරේ එක්ක ඒ ටික අනල කවද්දී දැනුනු රස අද තරු 5 හෝටලේකින් කෑවත් දැනෙන්නේ නෑ බන්. අද වෙනකොට මාසේ පඩිය ලක්ෂ ගණන් වලින් ගණන් කරන මම අදටත් බබීට කියල  පොලුයි මාලුයි බතුයි කවා  ගන්නේ එක නිසා (දැන් සල්ලි ටිකක්  තියෙන නිසා මාළු කෑල්ලකුත් කනවා හොඳේ ).

මට තිබුනේ එකම එක සුදු කමිසයකුයි නිල් කොට කලිසමකුයි විතරයි ඒ වෙනකොට.ඉතින් ඕක ඇඳගෙන දවසෙම ඉස්කෝලේ බජව් නැටුවම ගෙදර එනකොට කිළුටු වෙලා .උදේට එකම ඇඳගෙන යන්න වෙන්නේ.එත් එහෙම කොහොමද යන්නේ.අර ගෑල් ළමය හිතයි මූ නම් හෙන කිලුට්ටෙක් කියල.

අන්න ඒක නිසාම මොන වැඩේ තිබුනත් හැමදාම හවසට තනියෙන්ම  ඉස්කෝලේ කිට් එක හෝදලා දාලා උදේට මැදලා කරලා ඇඳගෙන යන්න පුරුදු වුනා .

ඒ පුරුද්දට වගේ කසාද බැඳලා බබී කැන්දන්  එනකන්ම මගේ ඇඳුම් මංම හොදා ගත්තේ .

අනිත් ළමයි රිමෝට් කාර් වලින් සෙල්ලම් කරද්දී මගේ සෙල්ලම්  වුනේ කඩේ තිබුණු ස්ටේප්ලර් එක. කඩේ විකුනන්න තිබුණු ගිනිපෙට්ටි වලින් සෙල්ලම් මාළිගයක් හදපු මම ස්ටේප්ලර් එක යුද්ධ ටැංකියක් කියල හිතින් මවා  ගෙන මාළිගාව සමතලා  කරා .

අනිත් ළමයි අරුමෝසම් බෑග් පැන්සල් පෙට්ටි පාට  පාට වතුර බෝතල් අරන් ඉස්කෝලේ එද්දී බබා හැමදාමත් අරන් යන ඉරුණු තැන් නොපෙනෙන්න බබා විසින්ම  රෙපයාර් කරපු බෑග් එකට රුපියල් විස්සක් දීලා ගත්ත පැන්සල් පෙට්ටිය දා ගෙන ඒ වගේම ගානක් දීල ගත්ත වතුර බෝතලෙත් අරගෙන ඉස්කෝලේ ගියා..

අරුමෝසම් කෑම පෙට්ටි වල ගෙන ආපු අරුමෝසම් කෑම කන අනිත් ළමයි දිහා බලාගෙන පුංචි ප්ලාස්ටික් පෙට්ටියට අම්මා  දාල දීපු බනිස් ගෙඩිය හරි කිඹුලා බනිස් එක හරි මං කෑවේ හරිම සතුටකින්.

ඉස්කෝලේ ඇරිලා තමන්ගේ දුව, පුතා එනකං ගේට්ටුව ගාව බලා ගෙන ඉන්න අම්මල මැද්දෙන් හිමීට රිංගලා ලොකු ඉස්කෝලේ පිටිපස්සෙන් වැටුණු පාර දිගේ ගිහින් කොලේජ් ලේන් එකෙන් ඇවිල්ල ඇල්පිටිය පාරට වැටිල බබා තනියම  ගෙදර ගියේ හරිම සතුටින්.

මේ දවස් වෙද්දී අපේ තාත්තගේ සහෝදර සොහොදරියෝ අපිව දැක්කත් අහක බලා ගෙන යන තත්වයක් තිබුනේ ........අම්මගේ සහෝදරයෝ ටිකයි අම්මගේ අම්මයි තමයි අපිට යන්තං හරි පිහිටට හිටියේ.

අපේ තාත්තා ණය ගත්ත මිනිස්සු ගෙදරටම ඇවිල්ල මහා හයියෙන් බැනලා යනකොට අපේ අම්මා අපි හතර දෙනාව තුරුළු කරගෙන අහස දිහා බලාගෙන හූල්ලපු දවස් නම් එමටයි ...ඒ වගේ බැනල ගියපු මිනිස්සුන්ගෙන් බොහොම දෙනෙක් අපිට යහමින් සල්ලි තිබුණු දවස් වල අපේ තාත්තාගෙන් අනන්තවත් උදවු ගත්ත සහ අපේම නෑ පරපුරේ අය .

"අපේ තාත්තා වංචාකාරයෙක් නෙමේ..එයා  කොහොම හරි උඹලගෙන් ගත්ත ණය බේරාවී " පුංචි මට කෑ ගහල කියන්න හිතුනු වාර අනන්තයි.

මට ගොඩක්ම දුක හිතුනු දවසක් තමයි අපේම නෑ කෙනෙක් අපේ අම්මවයි මාවයි හිඟන්නෝ විදියට ඒ ගෙදරින් එලව ගත්ත දවස.

මම 7 වසරේදී පන්තියට යන මුල්ම දවසේ දා ගෙන යන්න අලුත් සපත්තු දෙකක් ඕනේ කියල අම්මට වද දෙන්න පටන් ගත්ත.

තිබුණු සපත්තු දෙක හැමදාම උදේට පොල්තෙල් ගාල පොලිෂ් කරලම පට්ට ගිහින් තිබුනේ.මටත් අර ගෑල් ළමයට පේන්න පොෂ් එකේ යන උණක් තිබුනනේ.අපේ අම්මටත් තේරෙන්න ඇති බබත් දැන් ඇටෙන් පොත්තෙන් එළියට එන කාලෙනේ....එක නිසා ඔන්න ඔහේ එකක් අරන් දෙනවා කියල .
ඒ දවස් වල මගේ හිත ගත්ත සපත්තු ජෝඩුව රුපියල් 350/- විතර වුනා ,මට මතක විදියට ..අම්ම ගාව එච්චර මුදලක් නැතිවුනත් අපිට කලින් තිබුණු ටවුමේ කඩේ අයිති අපේ ආච්චිගේ නංගියි එයාගේ දුවයි හිටපු ගෙදරට අපි ගියේ ඒ දවස් වල අපෙන් ණයට ගත්ත බඩු වලට එන්න තිබුණු සල්ලි වගයක් ඉල්ල ගන්න .අම්ම හිතුවේ ඒ සල්ලි වලින් මට සපත්තු ජෝඩුවක් අරන් දෙන්න ......සාගරයක් වගේ ඒ ගෙදර මුරකාරයට අපි ආපු කාරණේ නොකිය අපි ඇතුළට යන්න අවසර ඉල්ලුවේ අපේ ටවුමේ කෝටිපතියන් විදියට පිළිගැනුණු ඒ මිනිස්සුන්ට අගෞරවයක් නොවෙන්නයි..එත් ඒ මුරකාරයත් ඒ මිනිස්සු වගේම තමයි .....
යන්න දෙන්න බෑ කියල කියද්දී අපේ අම්මත් ටිකක් සද්දෙට කතා කරා . මේ සද්දේ ඇහුනු ඒ ආච්චියි නැන්දයි එලියට ආවා .

මේ මිනිස්සුන්ගේ පොත් වල ඒ වෙනකොටත් කෝටි ගණන් සල්ලි තිබුනත් අපිට දෙන්න තියෙන සල්ලි දෙන්න කැමති වුනේ නෑ .

"උඹලගෙන් ගත්ත සල්ලියක් අපි ගාව නෑ .....උඹලගෙන් අපි  ණයට කාලත් නෑ ..........අපි මේ තුට්ටු දෙකක් හම්බ කර ගත්තේ පාරේ යන එක එකා ඉල්ලුවම පිනට දෙන්න නෙමේ.ගහල පන්නන්න කලින් මෙතනින් යනවල."

ඔන්න ඔහොමයි මගේ අහිංසක අම්මයි මාවයි  අපේම නෑයෝ එලව ගත්තේ. 
හැබැයි තමන් කරන පවු පඩිසන් දෙන එක මොන ජගතටවත් වලක්වන්න බෑ කියන එක හොදටම ඔප්පු වුණා ඒ මිනිස්සුන්ට පස්සේ කාලෙක වෙච්ච දේවල් දැක්කම.
අවුරුදු කීපයකට පස්සේ කෝටි ගානක් දේපල තිබුණු ඒ ආච්චියි නැන්දයි අර අපිට බැනපු මුරකාරයයි තුන් දෙනාම මහ දවල් කපල කොටලා මරල දාල තිබුන.

ඒ දවස් වල අපිව මගහැරපු අපිට ගෙදරටම ඇවිල්ල බැනල ගියපු හුඟක් නෑදෑයන්ගේ සමහරු අද කාල බීල ඉන්නේ මගේ ගෙදරින් දෙන සල්ලි වලින්.සමහරුන්ගේ ළමයි ගෙවල් වලින් බැනල එලව ගත්තම සති ගණන් නවතින්නේ මගේ ගෙදර.

ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්...ඒ මිනිස්සු කවදාවත් හිතන්නේ නැතුව ඇති අපි ගාවට ඇවිල්ලා කීයක් හරි ඉල්ලගන්න.අපි ගාව  ඇවිල්ල අඬා වැටෙන්න.
අදටත් අපේ අම්මයි තාත්තයි ඕනෑම කෙනෙක් ඇවිල්ල දුක කියද්දී ඒ දුක බෙදා ගන්න ,ඒ මිනිස්සුන්ට පිහිට වෙන්න දෙපාරක් හිතන්නේ නෑ .....

සල්ලි වලට වඩා මනුස්සකම ලොකුයි කියන එක මං අදටත් ඉස්මුදුනින් පිළිගන්න ධර්මතාවයක්.


අදටත් ඒ සුන්දර සහ අසුන්දර මතක වලින් පිරුණු  අතීතේ මතක් වෙනකොට දැනෙන්නේ පුදුමාකාර සතුටක්.ඒ වගේම ආඩම්බර කමක්.....

පොඩි ඉස්කෝලේ ජීවිතේ ඔහොම ගෙවිල ගියා .........8 වසරේ අවසාන වාර  විභාගෙත් ලිව්වා කියමුකෝ ........අන්න ඒ අවසාන වාර විභාගේ වෙනකන් බබාගේ කැරට්ටුවත් කියන්න තරම් නරකක් තිබුනේ නෑ .

6 වසරේ ඉඳල 8 වසරට වෙනකන් පන්තියේ 3 වැනිය හරි 4 වැනිය හරි වුනා.

8 වසර ඉවර වෙලා 9 වසරට පාස් වෙලා ලොකු ඉස්කෝලෙට ගියාම තමයි බබා සම්පුර්ණයෙන්ම වෙනස් චරිතයක් වුනේ...........

*********************************************************************************